ඇස



මේ ලෝකෙ මිනිස්සු හිතාගෙන ඉන්නෙ මිනිසා ලෝකයේ සිටින බුද්ධිමත්ම සත්වයා කියලා. ඔව් ඉතිං අනෙක් සත්තුන්ට මිනිස්සුන්ට තේරෙන විදිහට කථා කරන්න බෑනෙ. අනික් එක සත්තුන්ට තේරෙන්නෙත් නෑනෙ අපි මොනවද කියන්නෙ කියල. බැරි වෙලා හරි ඒ සත්තු මොකක් හරි ගැජමැටික් එකක් හදල අපි කියන දේවල් අහගෙන හිටියොත් අපි සත්තු වුනු එක පූරුවෙ කරපු පිනක් කියල හිතෙන්නත් බැරි නෑ දැං කාලෙ කථා වෙන දේවල් ඇහුවම. හරි හරි ඔය බයිලා වැඩක් නෑ. අපි බහිමු සබ්ජෙක්ට් එකට.

ඔව් අපි මින්ස්සු. ලෝකෙ ඉන්න බුද්ධිමත්ම සත්වයා. මම දැන් ලියන්න යන්නෙ මේ බුද්ධිමත්ම සත්වයගෙගෙ ඇහැ ගැන මට හිතුනු දෙයක්.

අපි විද්‍යාව ඉගන ගන්නවා. බොහෝ දුරට ඇහින් දැකල, කනෙන් අහල තමයි විද්‍යාව දියුනු කරන්නෙ. විද්‍යාවෙ ආරම්භයත් කවද හරි වෙලා තියෙන්නෙ මොනව හරි දෙයක් ඇහින් දැකල කනෙන් අහල දිවෙන් රස දැනගෙන නාසයෙන් සුවඳ ආග්‍රහනය කරලනෙ. වෙන විදිහක් නෑනෙ. කන, දිව, නාසය මට හිතෙන දේවල් බ්ලොග් එකේ දාන්න අමාරුයි. ඒවා ඔප්පු කරන්න අන්තර්ජාලයෙන් බෑ. ඔප්පු කරන්න පුලුවන් එකම දේ තමයි අපේ ඇස් දෙක.

මම බයෝ නෙ කරන්නෙ. ඒක හින්ද ප්‍රැක්ටිකල් (ප්‍රායෝගික ක්‍රියාකරකම්) වලදි තියෙනව අපේ පියවි ඇසට පේන්නෙ නැති සෛල දිහා අන්වීක්ෂයකින් බලන්න. අපි බලමු මෙතන වෙන්නෙ මොකක්ද කියලා. සෛලය අපිට පේන්නෑ. අපි මොකද කළේ සෛලෙ පේන විදිහෙ ගැජමැටික් එකක් හැදුවා. ඊට පස්සෙ ඔය ගැජමැටික් එකෙන් සෛලෙ දිහා ඇහෙන්ම බලල අපි එක එක දේවල් හොයා ගන්නවා. සෛල විතරක් නෙමෙයි. අනික් හැම දේකටම මේක අදාල යි. අපිට පේන්නැති දෙයක් අපි කොහොම හරි අපිට පේන විදිහට හදාගෙන අපි ඒක දිහා බලනවා අපේ ඇස් දෙකෙන්. අපි මේ හැම දෙයක් දිහාම බලන ඇස් දෙක 100% නිවැරදි ද? කිසිසේත්ම නෑ. අපි මොකක් හරි දෙයක් දිහා බලල කියනවා එක් රතු පාටයි නැත්තං නිල් පාටයි කියලා එහෙමත් නැත්තං කොල පාටයි කියලා. ඒත් මේක ඇත්ත ද? නෑනෙ. තියන පාට වලින් හැම එකක්ම අවශෝෂණය කර ගෙන අවශොෂණය කරගන්න බැරි දහ ජරා පාට විතරයි අපිට පේන්නෙ. ඉතිං හත්තලාමේ අපි කොහොමද කියන්නෙ අපේ ඇහින් දකින දේ ඇත්තයි කියල. ඒ වුනාට ඇස්පේන්නෙ නැති වවුලට පුලුවන් ගස් ගල් වල හැප්පෙන්නෙ නැතුව මින්ස්සුන්ටත් වඩා හොඳට ගමන් කරන්න. ඉතිං අපි දියුනුයි කියන එක ගැන ටිකක් හිතල බලන්න ඕනෙ නැද්ද?

මම පොඩි උදාහරණ ටිකකුත් හොයා ගත්තා. ඔය රූප ටික බලන්නකො. අපිට පේන දේයි ඇත්ත දේයි වෙනස් නේද? ඒ කියන්නෙ ඇහැ කියන්නෙ මායාවක්.

අපි ඇහින් දකින හැම දේම විශ්වාස කළොත් අපිට සියයට සීයක් නිවැරදි දේවල් ලැබෙන්නෙ නෑ. අපි ඇස් දෙක වහල අපේ පුංචි මොළ ගෙඩිය ඇරල යමක් දිහා බලන කොට තමයි අපිට අරිට වඩා නිවැරදි දෙයක් ලැබෙන්නෙ. ඒක හින්ද මීට පස්සෙ පාරෙයන කොට ඇස්දෙක වහගෙන මොළේ එලියට දාගෙන යාම මැනවි.

(මා මෙහි සඳහන් කළ සමහර දේවල් මගේ හිත මිත්‍රයෙකු හා මා කථා කරමින් සිටින විට ඔහුගේ කටින් පිටවූනු දේවලය. ඔහු ප්‍රමිත් රුවන්පතිරණ)

කාලය

කාලය කියන්නෙ මොකක්ද කියල ලොකෙ ඉන්න හොඳම ‍භෞතික විද්‍යාඥායාගෙන් ඇහුවොත්
එතුමගෙ කටින් මොනවගේ වචන මාලාවක් පිටවෙයිද කියන්න නම් මම දන්නෑ. මට
මෙහෙම දෙයක් නිකමට වගේ හිතුනා. ජූංජක් විතර පිස්සු අදහසක්.

මම මෙහෙම කිවුවොත්, ලොකෙ කැරකෙන්නෙ නැත්තං ඔය අපි කාලය කියන දෙයක් නෑනෙ.
‍අපි කාලය කියන්නෙ මොකකටද? අපි ටිකකට හිතුවද? මම කියනවා කාලය කියල දෙයක්
නෑ කියල.

අපි උදේ නැගිටල එලිය බලද්දි සමහර විට එලිය වැඩිල නැතුව ඇති. ඊට පස්සෙ ඒ
නැගිටපු වෙලාවෙ ඉදලා අපි ඔරලෝසුවක් දිහා බලා ගෙන හිටියොත් පැයක් දෙකක්
යද්දි එලිය වැටෙනවා. එතකොට අපිට කියන්න පුලුවන් පැය දෙකක් යද්දි එලිය
වැටුනා කියලා.

දැන් පොඩි උපකල්පනයක් කරමු. ‍ලෝකෙ කැරකෙන්නෑ කියල අපි උපකල්පනය කරමු.
එතකොට අපි නැගිටපු වෙලේ ඉඳලා පැය දෙකක් ගියාට පස්සෙ එලය වැටෙනවද?
(නැතෝ….) එතකොට අපිට කියන්න පුලුවන්ද කාලය ගත වුනා කියල? දැනට අපි කාලය
කියල කියන්නෙ එතකොට මෙන්න මේ දේට නේද? ඔරලෝසුවෙ තියෙන දිගම කටුව, තප්පර
කටුව, ඊටපස්සෙ තියෙන දිග කටුව, විනාඩි කටුව, කොටම කටුව , පැය කටුව,
හිමින් හිමින් වෙනස් වෙද්දි පරිසරයේ සිදුවන වෙනස්කම් වලට නේද අපි කාලය
කියන්නෙ. හත්තලාමයි. එතකොට ඔරලෝසුව හදපු මහත්තයා ඔරලෝසුව හැදුවෙ නැත්තං
වෙලාව යන්නැද්ද? මලජරා ඔරලෝසුව. හරි ඔරලෝසුව අමතක කරමු. අපි එතකොට කාලය
කියන්නෙ පරිසරයේ වෙන වෙනස්කම් වලට. එහෙමද??

අපි ඉපදුනා චූටි බබෙක් විදිහට. අපේ ශරීර කූඩුව ඇතුලෙ තියන පුංචි පුංචි
සෛල වයස්ගත වෙද්දී අපිත් චුට්ට චුට්ට වයස් ගතවෙනවා. අපි ඔරලෝසුවෙ මේ හැම
එකක්ම සිද්‍ද වෙන්න යන කාලෙ බලල අපි කියනවා අවුරුදු 120 ආයු වලඳා අපේ
සියා නැති වූනා කියල. ඔරලෝසුව නැත්තං හරි ලෝකෙ කැරකෙන්නැත්තං හරි අපේ
සීයා මැරෙන්නැතුව තියෙයිද? එතකොට වයසට යාම, මිය යාම වගේ දේවල් වලටත්
කිසිම සම්බන්ධයක් කාලයේ නැ. එහෙම නේද?

එතකොට මොකක්ද බොලේ අයින්ස්ටයින් මහත්තයා කිවුවේ? මම නම් ඔය සබ්ජෙක්ට් එක
ගැන වැඩිය දන්නෑ. මම මට මතක විදිහට කෙටියෙන් කියන්නම්. නිවුන් සහෝදරයෝ
දෙන්නෙක් ඉන්නවා. එකෙක් රොකට් එකේ නැගල අලෝකයේ ප්‍රවේගයට ගිහිල්ලා
අවුරුදු 20 විතර පස්සෙ ආයෙත් එනවා. එතකොට අර පොලවෙ හිටපු සහෝදරයට අවුරුදු
විස්සක් වයසට ගිහිල්ලා. රොකට් එකේ ගිය එකාට එච්චර වයස ගිහිල්ලා නෑ…..
එහෙම නේද එයා කිවුවේ? වැරදි නම් තව්සන්ඩ් වාරයක් සමානවන සේක්වා…

ආලෝකයේ වේගයෙන් නෙමෙයි. මොන ඉලවු වේගෙන් ගියත් අපේ ඇ‍‍ඟේ තියන සෛල වයසට
යන එක නවතිනවද? නෑනෙ. එහෙනම් කොහොමද ඕක වෙන්නෙ.

මම කාලය මෙන්න මේකයි කියල කියන්නං. පරිසරයේ සිදුවන වෙනස්කම් කාලය ලෙස
මහාචාර්ය ඉද්දා ප්‍රකාශ කරයි. මට ඔය මහාචාර්ය පට්ටං නෑ හරිද?

මට මේවගේ පිස්සු අදහස් ගොඩක් එනවා. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මේක පිස්සු
අදහසක්. ලියන්නත් දෙයක් නැති හින්දා මට හිතුනා නිකමට වගේ ලියලා දාන්න.

හිතක් ඇත.....

ඔන්න මුලින්ම කිවුවා මම බයිට් කියලා. මොකද කලින් ලියපු පෝස්ට් එක ලැබුනු ප්‍රතිචාරත් එක්ක ටිකක් මම ගැඹුරට හිතුවා. එහෙම හිත හිත ඉන්න කොට (ඉස්කෝලෙදි) මගෙ එහා පැත්තෙ දෙයියෙක් වගේ එකෙක් හිටියා.

ඌ නමින් ප්‍රමිත්. ඌ මට මෙහෙම කථාවක් කිවුවා. ප්‍රමිත්ගෙ නෑදෑයෙක් වෙන ආච්චි කෙනෙක් ඉතාම අසාධ්‍ය ලෙස අසනීප වෙලා සිහිසුන් වෙලා තියෙනවා. ඉතාම ඉක්මනින් රෝහලක් වෙත ගෙනිහිල්ලා. ප්‍රමිත්ගෙ අම්මා වෘත්තියෙන් දොස්තර කෙනෙක් උනත් ඒ රෝහලේ නෙමෙයි වැඩ කරල තියෙන්නෙ. වෛද්‍යවරු කියල තියෙන විදිහට ඇයව ඉතාම ඉක්මනින් ශල්‍යකර්මයටකට භාජනය ‍කරන්න කියල තියෙනවා. එනිසා ඉතාම ඉක්මනින් ශල්‍යකර්මයට භාජනය කරල තියෙනවා. ප්‍රමිත්ගෙ අම්මත් මේ අවස්ථාවෙ ශල්‍යාගාරයට ඇවිල්ල තියෙනවා. කොහොමෙන් කොහොමෙන් හරි ශල්‍යකර්මය සාර්ථක වෙලා ඒ ආච්චි සනීප වෙලා තියනවා. මෙන්න බොලේ වැඩක්. ඒ ආච්චි එයාට සිදු කරපු ‍ ශල්‍යකර්මය කරපු විදිහ කියන්න පටන් අරගෙන. මගෙ යාලුවගෙ අම්මත් එතන හිටිය කියලත් කියල තියෙනවා. මිනිහ මගෙන් ඇහුව “ උඹ කියන තර්කයට අනුව ඕක පැහැදිලි කරන්නෙ කොහොමද” කියලා. වෙන එකෙක් කිවුවනම් මම ඕක පිලිගන්නෙ නෑ. මිනිහ කලින් මගෙ මතය පිලිගත්තු එකෙක්. එහෙම එකෙක් එහෙම කියද්ද මට ඒක බොරු කියලා අහක දාන්න බැරි වුනා. මම කල්පනා කලා. ම්ම්ම්ම්හ් නෑ.. මගෙ තර්කයට අනුව මේක පැහැදිලි කරන්න බැරි බව මට තේරුනා. ඉතින් මම මගෙ මතය වෙනස් කලා.

ඒත් ටිකක් වෙනස් විදිහකට. ඒ කොහොමද කියල කියන්නං. මේ ලෝකෙ තියෙන හැම දෙයක්ම ඝන,ද්‍රව, වායු කියන පදාර්ථයේ විදි වලින් එකක් තමයි පිහිටන්නෙ. නමුත් අපිට කියන්න බෑ ඝන, ද්‍රව, වායු අවස්ථාවලට අයත් දෙයක් මේ‍ ලෝකෙ නෑ කියලා. ඒ වගේම එහෙම අයත් නොවන දෙයක් තිබුනත් ඒව භෞතික නොවන බවත් කියන්න බෑ. මම කියන්නෙ මේකයි. හිත කියන්නෙ ඝන, ද්‍රව, වායු වලට අදාල නැති වෙනත් භෞතිකමය දෙයක් කියලා. ඒකියන්නෙ අපිට නොපෙනෙන භෞතිකමය දෙයක්. තව දෙයක් ඒක අපේ මොලයට සම්බන්ධ දෙයක්. මම ඒක දකින්නෙ මෙහෙමයි. මො‍ලයට සෘජුවම සම්බන්ධ නූලක් වැනි දෙයකින් හිත හා මොලය බැඳිල තියෙනවා. හිත කියන දේ තියෙන්නෙ අපේ මොලේම යි. මොලේට සෘජුවම සම්බන්ධ දෙයක්. නමුත් ඔය කියන විදිහට හැම තැනම යන්න බෑ. ඒක තියෙන්නෙ අපේ මොලේ. ඔය හිත හැම තැනම යනවා කියල කියන්නෙ අපිට එක එක දේවල් මතක් වෙනවා කියන එකට තමයි. මතක් වීම සිදුවන්නෙ අපේ මොලෙන්. මෙහෙම කියන්නං. ඔබට පුලුවන්ද ඔබ ජීවිතේට දැකල නැති අහල නැති කෙනෙක් ගැන හිතන්න. මම හිතන්නෙ බෑ. ඒකියන්නෙ අපේ හිතීම සිදු වන්නෙ අපේ මතකය යන පරාසය අතර.

හරි එතකොට ප්‍රමිත් කියපු දේ මේකෙන් පැහැදිලි කරන්නෙ කියල බලමු. ආ... ඊට කලින් කියන්න ඕනෙ මිනිහෙක් මැරුණම මොකක්ද මේ හිත කියන එකට වෙන්නෙ කියලා. මිනිහෙක් මැරෙනවයි කියල කියන්නෙ මොලේ අක්‍රිය වෙන එකටනෙ. එතකොට මම කියපු හිතත් එක්ක මොලේ තිබුනු හිත මොලයත් එක්ක තිබුනු සම්බන්ධය බි‍ඳෙනවා. එතකොට ඒ භෞතිකමය හිත මොලෙන් ගැලවිලා කොහෙ හරි යනවා. ඒක ඔහෙ සැරි සරමින් ඉන්නවා. සැරිසරනවා කිවුවොත් වැරදී. ඒක මම මෙහෙම කියන්නං. අතට පුලුං ටිකක් අරගෙන හයියෙන් පිම්බොත් මොකද වෙන්නෙ? ඒක ඔහෙ හුලඟ එන පැත්ත‍ට යනවා. හිතත් ඒවගේ යනවා(සුලඟට අනුව නොවේ.). දැන් බලමු කොහොම අලුත් ජීවියෙකුට මේ හිත සම්බන්ධ වෙන්නෙ කොහොමද කියලා. ගැහැනියකුගේ හා පිරිමියෙකුගේ එක් වීමකින් නව ජීවියෙක් මව ගේ ගර්භාෂයට එනවා. මාස 9ට ආසන්න කාලයක දී ඒ බෲනයෙන් නව ජීවියෙක් ලෝකෙට එනවා. මවගේ ගර්භාශයේ ඉන්න කොට බෲනයට හිතක් නෑ. නිකම්ම නිකං ජීවියෙක් විතරයි. මේ ලෝකෙට අපු ගමන් හෝ ටික දවසකින් හෝ ටික වේලාවකින් අර ඔහේ ගමන් කර කර තිබුනු හිතක් මොලය හා සම්බන්ධ වෙනවා. ඒක කොහොමද වෙන්නෙ කියන්න මම දන්නෙ නෑ. එතෙන්දි කිසිම තේරීමක් නම් සිදුවන්නෙ නෑ. හරි දැන් බලමු අර සීන් එක. ඒ කාන්තාව මරණාසන්නවයි හිටියෙ. සිහිසුන් වෙලා. එතකොට මොලය භාගෙට අක්‍රිය වෙලා කියල මම උපකල්පනයක් ගේන්නං. එතකොට හිත මොලෙන් පිට වෙන්න ට්‍රයි එකක් දෙනවා. ඒක සවයංක්‍රීයවම වෙන දෙයක්. නමුත් මොලේ සම්පූර්ණයෙන්ම අක්‍රිය වෙලා නැති හින්ද මම උපකල්පනය කරපු මොලය හා හිත සම්බන්ද කරන නූලෙන් හිත වෙන්වෙලා නෑ. නමුත් හිත මොලෙන් පිට වෙලා. එත කොට හිත තියෙන්නෙ තමන්ගෙ ශරීරය උඩ. එතකොට හිතට පේනවා තමන්ගෙ ශරීරයට මොකද වෙන්නෙ කියලා. ඒක හිතේ ගබඩා වෙනවා මතකයක් විදිහට. (ඕං මගේන් අහන්න එහෙම එපා හිත‍ට ඇස් තියනවද කියලා හරි??) දැන් හරිනේ. ඒකත් හරි. දැන් කියන්නම් ඔය පුනරුප්පත්තිය කියන දේ ගැන.

මම කලින් කිවුවනෙ හිත කියන දේ මොලයට සම්පූර්ණයෙන්ම සම්බන්ධයි කියලා. අපි දකින දේ. අපි ඉගන ගන්න දේවල් අපිට හැම දෙයක්ම යනාදී සියලුම දේවල් අපේ මොලයේ ගබඩා වෙනවා(මතකයන් ලෙස). මේ හැම එකේම කොපියක් හිතෙත් තැම්පත් වෙනවා(ඒ සඳහා ක්‍රියාවලියක් හිතෙහි සිදුවනු ඇතැයි උපකල්පනය කරමු.) හිතෙයි මොලෙයි කැපෑසිටි එක අන්ලිමිටඩ්. නමුත් මේ දෙකේ වෙනසක් තියෙනවා. මොලෙන් දෙන හැම දෙයක්ම ‍හිතේ ගබඩා වෙන්නෙ නෑ. (උඩු හිත යටි සිත යනු මෙයයි). සමහර දේවල් හිතේ හොඳටම රැදෙනවා(යටි හිත) සමහර දේවල් ක්ෂණයකින් හෝ දිනයකින් මාසයකින් අවුරුද්දකින් හෝ නැති වෙලා යනවා(උඩු හිත). මීට අමතරව තවත් කොටසක් තියෙනවා. මම ඒකට කියන්නම් අති ගඹුරු හිත කියලා. ඒකට යන්නෙ ඉතාම වැදගත් දේවල් විතරයි. උදාහරණයක් විදිහට අපේ හැකියාවන් වැනි දෙයක් කියන්න පුලුවන්. එය මරණාසන්න අද්දැකීමක් වෙන්නත් පුලුවන්. ඒ මතකය අවුරුද්දකින් දෙකකින් නැති වෙන්නෙ නෑ. අත්මයකින් හෝ දෙකකින් තමයි ඒව අමතක වෙන්නෙ. මරණයෙන් පස්සෙ ඉපදෙන මිනහට ටික කලක් යද්දි අති ගඹුරු හිතේ තියෙන දේ යටි සිතට උඩු හිතට වගේ එනවා. අන්න එතකොට ඒව අපිට කියන්න පුලුවන් වෙනවා. ඊට පස්සෙ ටික කලකින් නැති වෙලා යන්න පුලුවන්. නැත්තං දිගටම තියෙන්නත් පුලුවන්. දැන් ඔන්න පුනරුප්පත්තියත් පැහැදිලි කලා. තව මොනවද තියෙන්නෙ??? බලමු බලමු මතක් වෙන්නෙ නෑනෙ.

කියවන කට්ටියට එන ප්‍රශ්න ලියල යන්න අමතක කරන්න එපා ඕං..................................... ආයෙත් කිවුවා මම බයිට් කියලා.........

හිතක් නෑ??

ටිකක් අමුතු විදිහෙ සටහනක් ලියන්න හිතුනා. කට්ටිය මේක කියවලා කඩු ‍තුවක්ක පොලු මුගුරු අරගෙන මගෙ පස්සෙන් පන්නනව එහෙම නෙමෙයි ඕං. මම දැං කියන්න යනදේ මට දැනිලා අවුරුද්දක් විතර වෙනවා. මුලින්ම මගෙ මතය ඉදිරිපත් සාපෙ ‍සාපෙ පංතියෙ යාලුවොන්ට. ඒ අතරෙ අපේ සුදා, අංජු, තරිඳු වගේ අය හිටියා. මුංගෙං එකෙක් වත් මේක පිලිගත්තෙ නම් නෑ. ඒක හින්දම තමයි ‍මේක බ්ලොග් එකේ දාන්න ටිකක් පරක්කු උනෙ. මෙන්න මේකයි සිද්ධිය. එහෙනම් ඔන්න මම පටන් ගත්තා.

සටහන ලවීමට පෙර මා පිලිබඳ යමක් ඔබට පැවසිය යුතු මනාය. ‍මා දැන් ඔබට පවසන්නට යන දේපෙරලිකාරී වියහැක. නොඑසේ නම් විහිලුවක් විය හැක. මා ජීව විද්‍යාව පලිබඳ(හුදෙක්ම මොලය) පිලිබඳ වැඩි දැනුමක් නැති අයෙකි. මෙය මාගේ උපකල්පන මත පදනම් වූ මතයකි. මා අදහන ආගම බුද්ධාගම වුවද මා පිලිගන්නා ආගමක් මෙ ලොව නැත. තවත් දෙයක් පැවසිය යුතු මනාය. මෙය මා තරයේ පිලිගත්ත ද ඔබට ද එසේ කිරීමට මා පොලබවන්නේ නැත. නමුත් යම් කිසි දවසක ඔබ සැමට මා හා එකඟ විය යුතුය.
මෙම සටහන ලිවීමෙන් පසු සමහර විට ඔබේ අදහස් අනුව මෙම මතය බැහැර කිරීමට ද මට සිදුවනු ඇත. ප්‍රමාණවත් සාධක මට ලැබුන හොත් එසේ කිරීමට මා මැලිවන්නේ නැත.

මට කීමට අවශ්‍ය මෙපමනකි. හිතක් නෑ. එය ඔබට ඒත්තු ගැන් වීමට කරුණු කිහිපයක් පෙල ගැස්වීමට කැමැත්තෙමි. ප්‍රථමයෙන්ම පූර්විකාවක් ලෙස මගේ මතයට හැදින් වීමක් දීමට කැමැත්තෙමි. බුදු දහමේ පවසන පරිදි සියල්ලටම මුල් වන්නේ අපේ සිත යි. එය ඉතා බලවත් දෙයක් ලෙස බුදු දහම දකී. මම එය බැහැර කරමි. බුදු දහම හිත යන්න දකින්නේ භෞතික නොවන දෙයක් විදිහට ය. එසේ පවසන භෞතික නොවන "හිත" කියා ඉන්ද්‍රියක් මිනිසාට හෝ කිසිම පෘථිවි ජීවියෙකුට පිහිටා නොමැති බව මා දකී. එසේ වුවද "සිතීම" යන්න
මා බැහැර නොකරයි. එනමුත් සිතීම සිදුවන්නේ සිතෙන් නොව අපගේ මොලයෙනි. මොලයේ සිතීම යන්න සිදු කිරීමට විශේෂ කොසක් ඇත. (එය හැදින්වීමට මම අපොහොසත්වෙමි.) දැන් ඔබට පැවසීමට අවශ්‍ය දෙය පැහැදිලි යැයි සිතමි.

දැන් ඔබගේ "මොලයට" දහසකුත් ප්‍රශ්න එනු ඇත. (මෙතැන් පටන් හිත යන්නට මොලය යන පදය භාවිතා කරනු ලැබේ. එය විහිලුවක් ලෙස නොදකිත්වා) ඔබේ මොලයට එන ප්‍රශ්න මොනවාද? මම එය මෙසේ උපකල්පනය කරන්නම්. " අර බලන්න. ලස්සන මලක්" ඔබට ඒ මල ලස්සන යැයි සිතුනා යැයි පැවසිය හැක. ඔබ දැනට පවසන්නේ එය ඔබේ සිතෙන් සිදුවූ දෙයක් ලෙසයි. මා එය මෙසේ පැහැදිලි
කරන්නම්. මුලින්ම ඔබ ඒ මල දුටුවේය. ඒ දෑසිනි. පසුව එය ඔබේ මොලයට පණිවිය රැගෙන යයි. එය මලක් ලෙස ඔබගේ මොලය හඳුනාගනී.(ඒ කෙසේ දැයි පසුව පවසමි.) දැන් ඒ මල ඔබට ලස්සන වූයේ කෙසේ දැයි බලමු. මෙය එකිනෙකාට සාපේක්ෂ වේ. ඔබ මීට කලින්ද මල් දැක තිබේ. එය මතකයක් ලෙස තැම්පත් වී ඇත. ඔබගේ රසතාවට අනුව මොලය කලින් දුටු මලට වඩා මේ මල ලස්සන බය තීරනය කරයි.
ඔබ පවසන සිතීම එයයි. එසේ ලස්සන බව තීරණය කිරීම සිතීමයි. එය සිදු වූයේ මොලයෙනි. මෙය මලකට පමණක් නොව ලස්සන ගෑණු ළමයෙක් දුටු විටද එසේමය. ආදරය කරුණාව සෙනෙහස මේ සියල්ල ඇති වන්නේ මොලයෙනි.

මට පැවසීමට බොහෝ දේ ඇත. නමුත් එක දිගට කියාගෙන ගියොත් ඔබට කිසිම දෙයක් ‍නොවැටහෙනු ඇත. ඔබට මේ පිළබඳ ඇති ප්‍රශ්න ලියා යන්න මම ඒවට පිලිතුරු සපයන්නම්.

‍මේක ‍කියෙවුවට පස්සේ ඉද්දා පිස්සෙක් කියල මාව අංගොඩ උස්සං යයි ද දන්නෑ ඕං. හැබැයි පුතේ මේකයි ඇත්ත..

ඕං මං ගියා......

ජීවිතය

මොකක්ද මේ ජීවිතේ?? මොකක්ද යකෝ මේ ජීවි‍තේ කියන්නෙ?? මහ පුදුම විකාරයක්. මට නං ඔන්න කිසිම අදහසක් එන්නෙම නෑ නෙව. අද සටහන ලියන්නෙ නම් කිසිම හේතුවකට නෙමෙයි. කිසිම අරමුණක් ඇතුවත් නෙමෙයි. මට මේ දවස්වල මේ ජීවිතේ ගැන හරියට කලකිරිල ඉන්නෙ.
ඔන්න මම මගෙන්ම ඇහුවා මොකක්ද අයිසේ මේ ජීවිතේ කියල මගේ මොලෙන්. ඌ කිවුවා මම කොහොමද අයිසේ ඒක දන්නෙ. උඹනෙ ජීවත්වෙන එකා උඹ එපෑ එක දැන ගන්න කියලා. මට එහෙම නිස්කාරනේ චෝදනා කරද්දි මම කොහොමද බලං ඉන්නෙ. ටිකක් සැරෙන් කිවුවා. "අනේ මෝඩ මොලයෝ. උඹ නැතුව කොහොමද මම ඉන්නෙ? උඹ කියන දේ‍ නෙව මම කරන්නෙ. ඒක හින්ද උඹ දැන ගන්න ඕනෙ මේ ජීවිතේ කියන්නෙ මොකක්ද කියලා". මොලේ ටිකකට කට වහගෙන හිටියා. මොලේ කියාපි " ඇත්ත තමයි පුතේ. මම ඒක දැන ගන්න ඕනෙ. ඒත් බං මම දන්නෑ උඹයි මමයි ඉන්නෙ මොකටද කියලා"
ඔන්න ඔහොමයි මගේ මොලේ මට කිවුවෙ. මොලේ දන්නෑ මම මොකටද ඉන්නෙ කියලා. ඒ යකා දන්නැත්තං මම ද දන්නෙ? ඇත්තටම මොකටද අපි ජීවත් වෙන්නෙ? කියන්ටකො බලන්න. මුල ඉඳන් බලමු. ඉපදුනා. ටික කාලයක් කිසිම තේරුමක් නැතුව ජීවත් උනා. ඇවිදින්න, කතා කරන්ට පුරුදු උනා. අම්මයි තාත්තයි ජී‍විතේ මුල්ම පාඩම් කියල දුන්නා. මොන්ටිසෝර් ගියා. ඉස්කෝලෙ ගියා. අවුරුදු 13 පාඩම් ඉගන ගත්තා. එක්කො ජොබ් එකකට සෙට් උනා. නැත්තං කැම්පස් ගිහින් තවත් ‍හොඳට ඉගන ගෙන හොඳ ජොබ් කට්ටකට සෙට් උනා. සල්ලි කීයක් හොයා ගත්තා. ගෙයක් දොරක් හදා ගත්තා. කසා දයක් බැඳ ගත්තා. දරුවො දෙතුන්‍ දෙනෙක් හැදුවා. උන්ටත් හොඳට ඉගැන්නුවා. උ‍නුත් හොඳ තැන්වලට ආවා. දැන් වයසයි. වල කජ්ජ ගහන්න ලගයි. ඔන්න ගැහුව වල කජ්ජ. Game Over. ඔය සාමාන්‍ය මිනිහෙක් ගෙ ජීවිතේ ඉතාම කෙටියෙන්. ඕවා අස්සට එක එක ප්‍රශ්න එනවා. එත කොට ජීවිතේ ආතල් එක වැඩි වෙනවා. කොහොම හරි. අවසාන නිගමනය ජීවිතේ = ඉපදුනා. ආතල් එකක් ගත්තා. මලා.
අපි මොකටද ජීවත් වෙන්නෙ? මැරෙන්නද? මරන්න ද? නැත්තං වෙන බම්බුවකටද? මමනං දන්නෑ. මොන විකාර ලියනවද මංද. මට නිකං සයිකො වගේ. මම දැන් ඉන්නෙ ජීවිතේ සතුටුම කාලෙ. ටිකක දවසකින් ඒකත් ඉවරයි. ඊට පස්සෙ ජීවන බර කරට ගන්න වෙනවා. ඒකෙත් ආතල් එකක් නැත්තෙම නෑ හැබැයි. කොහොම හරි මොන බම්බුව කලත් අන්තිමට නවතින්නෙ වලේ. එක්කො දරසෑයක. නැත්තං කැලේක. නැත්තං මහ පාරේ.
පොඩි චලිත සමීකරණ ටිකක් භාවිතා කරල මෙහෙම කියන්න පුලුවන්. ඉද්දාගෙ නියමය අනුව ජීවිතේ = ඉපදුනා. ආතල් එකක් ගත්තා. මලා. ඉපදීමත් මිය යාමත් කොහොමත් වෙන හින්ද පලක් ඇති දේකට තියෙන්නෙ ආතල් එකක් ගන්න එක විතරයි නෙ. ඒමනිසා. ජිවිතේ= ආතල් එකක් ගැනීම.
හා හා ඔය තියෙන්නෙ. ජීවිතේ කියන්නෙ මොකක්ද කියලා. අන්තිමට ‍මගේ මොල ගෙඩියට පුලුවන් උනා ජිවිතේ නිර්වචනය කොරන්ට.

මේ කස්ටිය... මේක මම ලිවුවෙ නිකං ඉන්න බැරුවට. හරිද? සිරාවට ගන්න එහෙම එපා... ආ.. තව දෙයක්. ඉද්දා හිත කියා දෙයක් නොපිලි ගනියි. එමනිසා ඔබ සිතට කැමති තැන් වලට මොලේ වෙනුවට හිත යන අකුරු එකතු කරන්න........ මේ මේකට නම් හිතෙන දේ ලියලම යන්න හරිද??

බිඳී ගිය බලාපොරොත්තුව

මාස ගානකින් පෝස්ට් එකක් ලියන්න බැරි වුනු හින්දත් හිතේ තියන දුක හා අපේක්ෂා භංගත්වය නැති වෙයි කියල උපකල්පනයක් කරල තමයි මේ බ්ලොග් සටහන ලියන්න හිතුනෙ. වැඩිය වල් පල් දොඩන්නෙ නැතුව කෙලින්ම යං මාර්තෘ කාවට. මේකයි සිද්ධිය. අර හංගන්න බැරි ලෙඩේ අතුරු ඵලයක් මේක.
මතකද අර මගෙ පමා වී ලියන ආදර කථාව හා තැබුවෙමි පියවරක් ඉදිරියට බ්ලොග් සටහන් දෙක. ඒකෙ අර ලියල තිබුනෙ මම කැමති ගැණු ළමයෙක් ගැන ;-) මම දන් පියවර විසිපහක් විතර ඉදිරියෙන් ඉන්නෙ කලින්ට වඩා. එයා මාත් එක්ක කථා කරනවා. කෙටි පනිවිඩ එවනවා. ඕවගෙ සීන් ගොඩයි.(දුරකතනයකින් මම ඔබ අමතමි හමුවිය නොහැකි නිසා කියල තමයි මට කියන්න වෙන්නෙ) යම්තාක් දුරකට දැන් ඇය සමඟ මගේ මිත්‍රතවය තරමක් දුරට වැඩි වෙලා තියෙනව කියල කියන්න පුලුවන්. කොහොමෙන් කොහොමෙන් හරි මට චෑන්ස් එකක් සැට් උනා ගම්පහ ප්‍රදේශයේ වැඩ මුලුවක් තියන්න. මම ඉතිං මාස ගානක් තිස්සෙ ඉඳන් ඔකට ප්ලෑන් ගහුව එයාව ඕකට ගෙන්න ගන්න. මාස තුනක් විතර. කොහොම හරි මට ඕනෙ උනේ එතුමියගෙ පාසලේ මේක කරන්න. ඔන්න දැන් මාස තුනක් විතර ගෙවුනා. මම හොයා ගත්ත එතුමියගෙ පාසලේ දුක අංකය එතුමියගෙන්ම. අපේ ලේකම් තුමාට දුන්න. ගත්ත ඇමතුමක්. "ඔබ ඇමතු අංකය කාර්ය බහුල බැවින් කරුණාකර පසුව අමතන්න." ලේකම් තුමා එහෙම කිවුව. පැයකින් විතර මමත් ඇමතුමක් ගත්ත. කිරි අප්පට බල්ලො පැනපි ආයෙත් කියනව "ඔබ ඇමතු අංකය කාර්ය බහුල බැවින් කරුණාකර පසුව අමතන්න." කියල. මට තරහ ගියා. මම කිවුවා " මොන මඟුලක් ද මේ.. දැන් කියෙ ඉඳන් බිසී ද. කීයටද ඔය කෝල් එක අරගෙන ඉවර වෙන්නෙ" කියල. අත්ඉලව්වයි. මේක රෙකෝඩින් එකක් නෙව. අපි ඉතිං ගමේ ගොඩේ හැදුනු ගොඩේ උදවිය නෙ. ඕව දන්නෙ කවුද? ;-) කොහොමෙන් කොහොමෙන් හරි එදා ඒක ගන්න බැරි උනා. ඉතිං මම දඩ බඩ ගාල දුක ඇමතුමක් ගත්ත එයාට. කිවුව සීන් එක. එයා කිවුව වෙන එකක් හොයල දෙන්නම් කියලා. පැයක්‍ දෙකක් යද්දි ආව කෙටි පණිවිඩයක්. ඒකෙ තිබුන ඉස්කෝලෙ සිංහල උගන්නන මිස් කෙනෙක්ගෙ අංකයක්. ඒකට ගත්තහම දාහක් ප්‍රශ්න අහන්න ගත්ත නෙව. ඒව සේරටම අපේ ලේකම් තුමා සාර්ථකව පිලිතුරු ලබා දුන්නා. කථාවෙන් තේරුනේ එතුමියගෙ පාසල අපි එනවට වැඩි කැමත්ක් නෑ කියලා. අපි ‍මොන බම්බුවටද සෙකන්ඩ් වෙන්නෙ. අපි ඉතිං ඒ අදහස අත ඇර ගත්තා. ඔන්න අපේක්ෂා බංගත්වය.
ආයෙත් ගත්ත දුක ඇමතුමක් එයාට. කිවුවා සීන් එක. එයාටත් ටිකක් විතර අප්සට බව මට දැනුනා. කොහොමද ටිකිරි මොලේ??? එයාගෙන් මම ඇහුම අපි මෙන්න මේ තැන මෙදාට මේ වෙලාවට වැඩ මුලුව තියෙනවා. එන්න පුලුවන්ද කියල. ම්ම්ම්ම්ම්ම් බලමු. එන්න බලන්නං කියල කිවුවා. මම ඉතිං ඕන දේකට ඉහටත් උඩින් බලාපොරොත්තු තියාගන්න නිසා මම උපකල්පනය කලා එයා එයි කියලා.
ඔන්න ඉතිං තව දවසයි ඕං තියෙන්නෙ අපේ වැඩේට. ගත්ත කෝල් එකක්. "ඔබගේ ශේෂය කෝල් එකක් ගැනීමට තරම් ප්‍රමාණවත් නැත්තෙහියෝය." මොන දෙයියන්ට කියන්නද දැං. ක්ලාස්යන ගමන් බොරැල්ලෙ තිබුනු පෙට්ටයකින් ගත්තා. " හෙලෝ.. පී..........................." කරුමෙට ගැහුව නෙව බස් කාරයෙක් හෝන් එක. " ඇහුන්නෑ" එයා කිවුවා. මම ආයෙත් හෙලෝ කියල පටන් ගත්තා. ඇහුව හෙට එවද නැද්ද කියලා.. "බැරිවෙයි"... මම හද පිරි ශෝකයෙන් කමක් නෑ කිවුවා.
අද තමයි වැඩ මුලුව තියෙන්නෙ. කිට්ටියම ඇවිල්ලා. එයා තියා එයාගෙ ඉස්කෝලෙවත් ඇවිල්ලා නෑ. මොනහත් ඉලව්වක්ද මන්දා. මටම නෙව වෙන්නෙ. මම ඉතින් දුක උඩින් සතුයෙන් ඉන්න බව පෙන්නුවා. බිඳී ගිය බලාපොරොත්තුව එපමනයි.
යන්න කලියෙන් කියයුතු දෙයක් ඇත කිසිම දෙයක් ගැන ඕනෙවට වඩා බ‍ලාපොරොත්ත නොතබා ගනු මැනවි.
මම ගියා.... සුබ ගමන්......

පරිගණයට ලියමි.



මා හිතවත් පරිගණකය ඔබ මට හමුවී දැනට වසර තුනක් හෝ හතරක් වුවද ඔබ වගේම පරිගණකයක් මට මුලින්ම හමුවූයේ මා පෙර පාසල් යන කාලයේ හෝ ‍මා එක ශ්‍රේණියේ ඉගනුම ලබන කාලයේ දීයි.
ඔබ මාහට හමු වූයේ මාගේ පෙර පිනකටද නැතිනම් මගේ පෙර කරුමයකටද කීමට මා තවම නොදනිමි. ඔබ ලැබීමට පෙර මා කෙසේ ජීවත් වුනේදැයි මට හරි හැටි මතකයක් නැත. මා සම වයසේ එවුන් සෙල්ලම් කරන විට
මා ඔබ ඉදිරියට වී පිස්සු කෙල කෙල සිටි ආකාරය නම් මාහට හොඳටම මතකය.මගේ සහෝදරයා මා හට සෙල්ලම් කිරීමට කථා කල විට එය මග හැර ඔබ ඉදිරියට වී යතුරු පුවරුවට ඇන ඇන සිටි වාර ද අනන්තය.
ඒ නිසා මා මවගෙන් හා පියාගෙන් කුනු වෙන්න බැනුම් අහපු වාරවල්ද අනන්තය.කොතරම් ඇනුම් බැනුම් ඇහුවද ඔබගෙන් මිදීමට මට කිසි සේත්ම නොහැකි විය. සමහර විට එය කිරීමට උත්සහ කළේ නම්
මා හ‍ට ඔබ ගෙන් මිදීමට හැකිවනු ඇත. නමුත් මට එසේ කිරීමට කිසිදු අවශ්‍යතාවක් නොවීය. ඒ නිසාම මම ඔබ ඉදිරියට වී මාගේ ළාබාල අවදිය පල රහිතව කාදමන්නට විය. මම ඔබට ඉතාම තදින් ආලය කළෙමි.
ඔබගෙන් මිදීමට කිසි සේත්ම මට දැන් නොහැක.
මට ඔබගේ ‍‍ඥාතියෙක් හමුවන විට ඔහුගේ වේගය 122 Mhz ය. රැම් මතකය මගේ මත‍කයේ හැටියට 8MB ය. VGA එක 4MB. Hard Disk එක 4GB විය යුතුය. නමුත් ඒ කාලයේ
ඔබ ඉතාමත් සවි ශක්තිය ඇති හුරුබුහුටි පරිගණකයකි. එයින් මාහට නොකල හැකි වැඩක් නොතිබිනි. ඔබගේ මෙහෙයුම් පද්දතිය වී තිබුනේ windows 95 ය. පසුව එය 98 බවට පත් කළෙමි.
ඔබගෙන් මා නොගත් වැඩක් ද නැත. අවුරුදු කිහිපයක් ඔබ පාවිච්චි කිරීමේදී මට ඔබගේ සවි ශක්තිය මද ගතියක් දැනුනි. මට අවශ්‍ය වැඩ ඔබ ලවා කර ගැනීමට නොහැකි තත්වයක් වුදාවුනි. ඔබ සැරෙන් සැරේ
ලෙඩ වීමටද පටන් ගෙන තිබුනි. ඒ දවස් වල මම පැය ගණන් ඔබව ගලාවා නැවත සෑදීමට ගත කළේය. එය මට මහත් ප්‍රීතියක් ගෙන දෙන වැඩක් විය. පසුව මම මගේ පියාට මට අලුත් පරිගණකයක්
අවශ්‍ය බව පැසුවේය. ඔහු‍ගෙනුත් යහපත් ප්‍රතිචාර ලැබුනු නිසා මට ඉතා ඉක්මනින් දැන් මා භාවිතා කරන පරිගණකය ලැබුනි. එය මා විසින් ඇසෙම්බල් කරන ලද පරිගනකයක් ය.එය මට මතක හැටියට
ඒ දවස්වල තිබූ වැඩිම වේගයෙන් යුතු පරිගණකයකි.
දැන් මට මගේ වැඩ පෙරට වඩා හොඳින් පහසුවෙන් වේගයෙන් කර ගත හැකි විය. දැන් මට වයස අවුරුදු 13ක් පමණවේ. මට දැන් යමක් කමක් තේරෙයි. මට යමක් කෙමෙන් කෙමෙන් වැටහීමට පටන් ගති.
මම මගෙන්ම ප්‍රශ්න‍ කළේ මට ඔබ ගෙන් ලබා ගත්තේ මොනවාද යන්නයි. ලබා ගත්‍ දේ කෙසේ වෙතත් මගෙන් ගිලිහී ගිය මගේ හැකියාවන් පිලිබඳ යමක් ඔබට කීමට කැමැත්තෙමි. මම ඉතාම නිර්මානශිලී
පුද්ගලයෙක් බ‍ව මාගේ මව හා මාගේ ආච්චී නිතරම පැවසූ කාරණයකි. දැන් මගේ නිර්මානශීලීත්වය කොහේ ගියාද කියා වත් සොයා ගත නොහැක. ඒ ඔබ නිසා යැයි දැන් මට වැටහෙයි. මට ඉතාම
හොඳ මතක ශක්තියක් ඇති බව නිතරම පවසන්නේ මාගේ ආච්චීය. නමුත් දැන්මට උදේට කෑවේ මොනවාද කියාවත් මතක නැත. ඒ ඔබට පිං සිද්ධ ‍වන්නටැයි කියා මට දැන් වැට හේ.
නමුත් ඔබගෙන් මා ලබාගත් දේද ඇත. මම යමක් පිලිබඳ ගැඹුරටම සිතීමට පටන් ගත්තේ ඔබ නිසාය. කිසිම දෙයක් අත් නොහරින ගතියද මට ලැබුනේ ඔබ ගෙන් කියා මට සිතේ. ඔබ නිසා හා අන්තර්ජාලය
නිසා මට ජීවිතයේ හමුවු වටිනා මිතුරන් බොහෝ ගණනක්ද මට ලැබුනේ ඔබ නිසා යැයි මට සිතේ. දැන් අවුරුද්දක පමණ සිට මගේ සිංහල භාෂාවද දියුනු වූවානම් ඒත් ඔබ නිසාමය.
නමුත් මේ ලැබුනු සියලු දේට වඩා මට මගෙන් ඔබ ලබාගත් දේ ගැන මට දුකක් සිතේ.
දැන් මට ඔබගෙන් ඉවත් වීමට තදින්ම වුවමානාව ඇත. දැන් එය කිරීමට ඉතාම අපහසු වී ඇත. දැන් මා ගණිත අංශයෙන් උසස් පෙළ හදාරන ශිෂ්‍යයෙක් මි. මම දැන් මාගේ අවදානය යොමු කළ යුත්තේ
උසස් පෙළ පිළිබඳවයි. නමුත් එය කිරීමට දැන් මට ඇති විශාලම භාදාව ඔබ යි. මට දැන් ඔබෙන් ඉවත් වීමට කොපමණ අවශ්‍ය වුවත් එය කිරීමට දැන් අපහසුය. නමුත් කෙසේ හෝ මම එය කළ යුතුය.
නැති නම් මාගේ අනාගතය අඳුරු වනු ඇත. එය‍ට ඔබට දොස්කීමද මගේ වරදකි. කුඩා කල ඔබ මාහට ලැබුනු දවසේම මම එය ප්‍රතික්ෂේප කලේ නම් අද මම මීට වඩා බෙහෙවින් වෙනස් පුද්ගලයෙක්
වනු ඇත. නමුත් ගිය නුවන ඇතුන් ලවා වත් ඇද්ද විය නොහැක. කල වරද ගැන පසු තැවෙමින් සිටිනු වෙනුවට මා හට කිරීමට වැඩක් ඇත. ඒ කෙසේ හෝ මද වශයෙන් හෝ ඔබෙන් ඈත් වීමය.

මා හිතවත් පරිගණකය ඔබ මාගේ ජීවිතයට පැමිණියේ මොන බම්බුවටද? ඔබට කථා කිරීමට හැකිනම් ඔබගෙන් මා අසන පළමු ප්‍රශ්නය එය යි.

හා කොහොමද මගෙ සටහන හිතවත් පරිගණකය?? නෑ නෑ කොහොමද මගෙ සටහන කියවන්නනි? ටිකක් වෙනස් විදිහකට ලිවුවත් මේක සහතික ඇත්ත කථාවක්. මේකෙන් මම ඉගන ගත්ත ලොකු
පාඩමක්. මම නම් මගේ පුතාට හරි දුවට හරි පොඩි කලෙදි නම් තාක්ෂණික උපකරණ අරන්දෙන්නෙ නෑ.. ඕ‍ගොල්ලොත් ඒක ගැන හිතල බලන්න.. හික්හික්.. ඔන්න එහෙනම් මම නැවතුනා.
ආ.. යන්න කලින් ප්‍රතිචාරයක් දක්වල යන්න අමතක නොකරන්න...